ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය පිණිස 2026-03-09 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. අදාළ ප්‍රසම්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 2.2 කට ආසන්නයි. මෙතරම් මුදලක් වැය කිරීම කෙතරම් සාධනීයව සිදුකෙරෙන්නේ දැයි පරික්ෂා කර බැලීම වැදගත්.
මෙම මහජන අධීක්ෂණයේ අරමුණු
- ශ්‍රී ලංකා රේගුව තොරතුරු තාක්ෂණය පිළිබඳ තීරණ ගැනීමේදී පිළිගත් මූලධර්ම සහ ක්‍රමවේද භාවිතා කරනවා දැයි පරික්ෂා කර බැලීම.
- ශ්‍රී ලංකා රේගුව අනාගත ඉලක්කයන් සපුරා ගැනීම පිළිබඳ හඳුනාගත් නිසි වැඩපිළිවෙලකට අනුරූපව තොරතුරු තාක්ෂණය ඇතුළුව අනෙකුත් සමස්ත කටයුතු කරනවා දැයි පරික්ෂා කර බැලීම.
- අදාළ ප්‍රසම්පාදනය කෙරෙන පද්ධතිය හෝ පද්ධති සැබෑ අවශ්‍යතාවය අධිකව ඉක්මවා ගොස් නොමැති බව සහ එබැවින් එම ප්‍රසම්පාදනයෙන් මුදල් නාස්තියක් සිදු නොවන බව තහවුරු කර ගැනීම.
- අදාළ ප්‍රසම්පාදනය සඳහා වැය කෙරෙන රුපියල් බිලියන 2.2 ක පමණ මුදලට සරිලන ප්‍රතිලාභ අනාගතයේදී ලැබෙන බව අපේක්ෂා කිරීම සාධාරණ බව තහවුරු කර ගැනීම.
- අදාළ ප්‍රසම්පාදනය කෙරෙන පද්ධතිය හෝ පද්ධති සඳහා අඩු වියදම් විකල්ප නොතිබුණේ ද යන්න පරික්ෂා කර බැලීම.
- ශ්‍රී ලංකා රේගුව තුළ විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Open source software) භාවිතය ප්‍රශස්ථ මට්ටමක ඇත් දැයි පරික්ෂා කර බැලීම.
- වසර අටකට අදාළව සිදුකෙරෙන එම ප්‍රසම්පාදනය කෙරෙන පද්ධතිය හෝ පද්ධති වසර අට අවසානයෙන් පසුව කෙතරම් බරක් ශ්‍රී ලංකා රේගුවට ඇති කරාවි දැයි පරික්ෂා කර බැලීම.
- ශ්‍රී ලංකා රේගුව සැපයුම් කරුවන්ට සීමා විම (vendor lock-in) වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රමවේද භාවිතා කරනවා දැයි පරීක්ෂා කර බැලීම.
- ශ්‍රී ලංකා රේගුව රටේ සමස්ත සංවර්ධනය ගැන සිතා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ අභිවෘද්ධියට සක්‍රීයව දායක වන අයුරින් ප්‍රසම්පාදන කටයුතු කරනවා දැයි පරික්ෂා කර බැලීම.
ඔබේ අදහස්
මේ පිළිබඳ ඔබේ අදහස් දැක්වීමට සාකච්ඡා මණ්ඩපයේ මාතෘකාවක් විවෘතයි.
ගන්නා ලද පියවර
- 2026-03-10 දින ගරු ජනාධිපති තුමා වෙත යවන ලද ලිපිය
මෙම ලිපියෙන් ඉල්ලා සිටිනුයේ අදාළ ප්‍රසම්පාදනය තාවකාලිකව නවතා දමා ඒ පිළිබඳ ඇගැයීමක් කර ඉදිරි කටයුතු කරන ලෙසයි. ලිපිය ජනාධිපති කාර්යාලයට (පිටපත) සහ මුදල් අමාත්‍යාංශය වෙත එහි ලේකම් තුමාටද පිටපත් කරමින් (පිටපත) විද්‍යුත් තැපෑල හරහා යවන ලදී. - 2026-03-11 දින තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ශ්‍රී ලංකා රේගුවෙන් තොරතුරු විමසා සිටීම
මෙම ලිපියේ "Oracle Exadata XIIM" ලෙස සඳහන් වී තිබීම් "Oracle Exadata X11M" ලෙස නිවැරදි විය යුතු බව පෙනේ.