ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව සමාජයේ මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා. ඒ පිළිබඳ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා විසින් අද දින (2026-07-11) ප්‍රකාශයට පත් කරන ලද ඉහත දක්වා ඇති වීඩියෝවේ අධිකරණ පද්ධතිය තුළ සිදු නොවිය යුතු ආකාරයේ බරපතල සිදුවීම් ගණනාවක් ගැන විස්තර අඩංගුව තිබෙනවා. අධිකරණය යනු මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කෙරෙන ආයතනයක්. ඒ නිසා මේ මතුව ඇතැයි පැවසෙන බරපතල ගැටලු පිළිබඳ මහජනතාව අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්.
වීඩියෝවේ පැවසෙන බරපතල කරුණු මෙසේයි:
- ස්වකීය ධූර කාලය වැඩිකරගැනීමට සහය දුනහොත් අන් විනිසුරුතුමන්ලාගේ උසස්වීම් ලබා දෙන බවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අන් විනිසුරුවරුන්ට බලපෑම් කර ඇති බව
- විනිසුරුවරුන්ගේ වැටුප් වර්ධක නැවැත්වීම, විදේශ සංචාර වැළැක්වීම, විනය පරික්ෂණ පැවැත්වීම ආදී ක්‍රියා මගින් විනිසුරුවරුන්ට අනිසි බලපෑම් කර ඇති බව
- විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීම මත අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරමින් සිටි ඉසුරු නෙත්තිකුමාර මහතා විනිසුරුවරයෙකු ලෙස හම්බන්තොටට මාරු කර ඇති බව
- විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීම මත අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරමින් සිටි උද්දාල සුවඳුරුගොඩ මහතාව එම තනතුරෙන් මාරු කර ඇති බව
- අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීමක් පැවැත්වීම කඩාකප්පල් කිරීමට එම සංගමයේම සාමාජික විනිසුරුතුමන්ලා පිරිසක් තවත් සාමාජික විනිසුරුතුමන්ලා පිරිසකට තර්ජන ගර්ජන සිදු කර ඇති බව
ඉහත සඳහන් කළ කරුණුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මා දන්නේ නැහැ. එසේ වුවත් මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා අධිකරණ සේවා සංගමයේ කටයුතුවලට අදාළ යම් යම් ලිපි ලේඛණ ද ඉදිරිපත් කරමින් ඉහත වීඩියෝවේ අදහස් දැක්වීමට අනුව යම් බරපතල ගැටලුකාරී තත්වයක් සැබෑවටම පවතින බවයි පෙනෙන්නේ.
ඉහත සඳහන් කළ කරුණු සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඒ තත්වයන් දෙකම බරපතලයි.
ඉහත සඳහන් කළ කරුණු සත්‍ය වේ නම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අල්ලස් දීමට තැත්කිරීම ඇතුලු දූෂිත ක්‍රියාවන්හි නිරතව තිබෙනවා. තවත් විනිසුරුවරුන් පිරිසක් ඊට අනුග්‍රහ දක්වා තිබෙනවා. අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමෙන් යම් විනිසුරුවරුන් පිරිසක් තවත් විනිසුරුවරුන් පිරිසකගේ භාෂණ නිදහසට බාධා එල්ල කර තිබෙනවා. භාෂණ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිවාසිකමක්. අගවිනිසුරුතුමන් සහ තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුතුමන්ලා පිරිසක් අල්ලස් දීමට, දූෂිත ක්‍රියාවන්හි නිරත වීමට හා තවත් අයගේ භාෂණ නිදහස උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇත්නම් එය අතිශයින්ම බරපතල තත්වයක්. සරලව කියුවොත් එවන් විනිසුරුවරුන් නඩු විභාග කරන්න සුදුසු නැති අපරාධකරුවන් පිරිසක්. එබැවින් ඉහත සඳහන් කළ කරුණු සත්‍ය වේ නම් අග විනිසුරු සහ අදාළ ජ්‍යෙෂ්ඨ විනිසුරුතුමන්ලා පිරිස විනිසුරු පදවි දැරීමෙන් පහ කර දැමීම සුදුසු බවයි මගේ අදහස.
අධිකරණ විනිසුරුවරුන් කියන්නේ රටේ සුවිශේෂී පිරිසක්. ඔවුන් සාධාරණ, යුක්ති සහගත ආකාරයට කටයුතු නොකරයි නම් එය සම්පූර්ණ රටේම කඩා වැටීමට හේතු වෙනවා. ඒ නිසා ඔවුන් සාධාරණ, යුක්ති සහගත ආකාරයට කටයුතු කිරීම මෙන්ම ඔවුන් ඒ ආකාරයට කටයුතු කරන බව ප්‍රදර්ශනය වීමත් අතිශයින්ම වැදගත්. අධිකරණ සේවා සංගමය තුළ ඉහත සඳහන් කළ ආකාරයේ ගැටලු සබෑවටම මතුව ඇත්නම් එය සමාජයට ලබා දෙන්නේ අතිශයින්ම අනාදර්ශයක්.
අනෙක් අතට ඉහත සඳහන් කළ කරුණු අසත්‍ය වේ නම් එවන් චෝදනා අග විනිසුරුවරයෙකුට සහ තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුතුමන්ලා පිරිසකට එල්ල කිරීම අතිශයින්ම බරපතල කාරණයක්. එසේ වේ නම් යහපත් පුද්ගලයින් පිරිසකට බොරු චෝදනා එල්ල කර සමාජයේ යහපත පැවැත්ම බරපතල ලෙස යටපත් කිරීමක් ඉන් සිදුවෙනවා.
මේ නිසා පෙර සඳහන් කළ කරුණු සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඒ තත්වයන් දෙකම බරපතලයි.
අධිකරණ බලය යනු ශ්‍රී ලංකාවේ මහජනතාව සතු බලයක්. ඉහත සඳහන් කළ කරුණු සත්‍ය වුවත් අසත්‍ය වුවත් එම පැවසෙන කරුණුවලට අනුව වර්තමානයේ සිදුවන්නේ එම මහජන බලය සීමිත පිරිසක් විසින් කෙලෙසීම බවයි පෙනෙන්න තියෙන්නේ. එක්කෝ සැබෑවටම විනිසුරුතුමන්ලා පිරිසක් විසින් මහජනතාව සතු අධිකරණ බලය කෙලෙසනවා, එහෙම නැත්නම් තවත් පිරිසක් අභූත, අසත්‍ය තොරතුරු පතුරුවා මහජනතාව සතු අධිකරණ බලය කෙලෙසනවා. එබැවින් මහජනතාව මේ සිදුවීම් මාලාව පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමත් මෙවන් දෑ වර්තමානයේත් අනාගතයේත් සිදුවීම වැළැක්වීමට කටයුතු කිරීමත් ඉතාම උචිතයි.
මේ පිළිබඳ ඔබේ අදහස් ඇතොත් දන්වන්න. විස්තර සඳහා සම්බන්ධ වන්න පිටුවට යන්න.