ඉහත වීඩියෝවේ හර්ෂණ නානායක්කාර ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති තුමන් තම ගුණයහපත්කම් පැත්තක තබා මහජනතාවට බොරු කියන ආකාර පහත විස්තර කෙරෙනවා.
වීඩියෝවේ කාලය 00:54 න් ඉදිරියට 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරුමට කිසිසේත්ම හදිස්සියක් නැති බව ඇමති තුමා පවසනවා. මේ බොරුවක් බව සිදුවූ ක්‍රියා දාමය දෙස බලා සිටි අය දන්නවා. මෙහෙම සංශෝධනයක් පිළිබඳ කතා බහක් සිදුව නොමැති බව කලකට ඉහත පවසා සිටියේ මේ ඇමති තුමාමයි. පසුව ඉතාම කඩිමුඩියේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නිසා කිසිසේත්ම හදිස්සියක් නැති බව කීම අසත්‍යයක්.
වීඩියෝවේ කාලය 04:51 න් පමණ ඉදිරියට:
ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිවිරෝධය හිතාගන්න බෑ. මොකද ගොඩක් කට්ටිය කියනවා මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවයි කියලා. ඉතින් මම අහනවා කොහොමද වෙන්නේ?
වීඩියෝවේ කාලය 06:09 න් පමණ ඉදිරියට:
අරගොල්ලන්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්නය මොකක් ද කියන්න මට තේරෙන්නේ නෑ.
වීඩියොවේ කාලය 07.00 න් පමණ ඉදිරියට:
ඒ හැම සාකච්ඡාවකදිම අපි ඇහුවේ අපිට කියන්ඩකෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙන හැටි. ඒකට අපිට නිවැරදි තොරතුරක් එන්නේ නෑ. මොකද ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ යම් චකිතයක්, අස්ථානගත බියක්ම තමයි අපි දකින්නේ. නමුත් ඔවුන්ට එහෙම එකක් කියන්ට කිසිම මේකේ පදනමක් නෑ.
මේ අධිකරණ ඇමති තුමා නීතිඥයෙක්. එතුමාට නීතිඥ සංගමයේ ස්ථාවරයට හේතු තේරුම් ගන්න බෑ කීම කොහොම පිළිගන්නද? අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එලල වන ආකාරය තේරුම් ගැනීම ඉතාම පහසුයි. පහත දැක්වෙන විඩියෝවෙත් ඒ බව විස්තර කෙරෙනවා.
වීඩියෝවේ කාලය 08:52 න් පමණ ඉදිරියට:
මේ සංශෝධන හරහා ඒක වෙන්නේ කොහොමද? මේ සංශෝධනයේ තියෙනවා නං ජනාධිපතිවරයාට අපි අලුත් බලයක් දීලා නඩුකාරතුමෙක් ඕනෑ වෙලාවක අයින් කරන්ට, එහෙම නැත්නං තෝරාගත්ත කට්ටිය ප්‍රොමෝට් කරන්න, එහෙම බලයක් මේකෙන් එනවා නං ඔය කියන ස්වාධීනත්වයට හානි වෙනවා කියන එක හරි.
ආණ්ඩු පක්ෂයට ඕනෑ ඕනෑ වෙලාවට යෝජිත 22 වන සංශෝධනය වගේ සංශෝධන ගෙන එමින් විශ්‍රාම වයස එහා මෙහා කරමින් නඩුකාරතුමන්ලා තියාගන්න, ඉවත් කරන්න සහ අඩු පුරවන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ගරු ඇමති තුමන්ගේ ඉහත ප්‍රකාශයට අනුව ගරු ඇමති තුමාටම සිදුවෙනවා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියලා පිළිගන්න.
නීතිඥයෙක් වෙලා ඒ මදිවට රටේ අධිකරණ ඇමතිත් වෙලා බොළඳ තර්ක මතු කරමින් රටේ බහුළ නීතිඥයින්ට පෙනෙන සරළ දේ තමන්ට පේන්නේ නෑ ආදී බොරු කියමින් ගරු අධිකරණ ඇමති තුමා කරන්නේ තමන් විසින්ම තමන්ගේ අභිමානය, අවංකකම හා පෞරුෂය සුණුවිසුණු කර ගැනීමක්.
රටක් හදන්න මහජනතාවට බොරු කියලා පුළුවන්ද? මේ පාලකයින්ම කියන සුපිළිපන් සංස්කෘතිය කෝ? සහකම්පනය කෝ?